Monday 25 June 2012

ගස් මාරු පෙති තෝරු....

ඔන්න මම සිකුරදා දවසක, වියට්නාම්වල හෝචීමින් නුවර ව්‍යාපෘතියක් ඉවර කරලා, ආපහු කොළඹ එනවා. මට එන්න තිබුනේ සිංගප්පූරුව හරහා. මම බොහොම මහන්සියෙන් හිටියත්, හරිම අනුවේදනීය දර්ශනයක් දැක්කා. කොල්ලාට සමුදෙන්න වියට්නාම් කෙල්ලෙක් ඇවිත්. (වියට්නාම් මිනිස්සුන්ව හඳුනාගන්න පහසුයි මිටි මොඩල් එකක් තියෙන්නේ.) කොල්ලා කෙල්ලව තදින් වැලඳගෙන, කෙල්ල අතොරක් නැතිව අඬනව. ප්ලේන් එකට නගින කොටත් මට මේ සීන් එක හිතේ වැඩ කලා. පැය 2කින් විතර සිංගප්පුරුවට ගොඩ බැස්සා. මට කොලඹ යන ෆ්ලයිට් එකට තව පැය කීපයක් තිබුණ නිසා එයාපෝට් එකෙන් එලියට එන්න තීරණය කලා. අපිට වීසා අවශ්‍යත් නැහැනේ. මම එලියට එනකොටම් දැක්ක මම ඉස්සරවෙලා කිව්ව, තනිවෙච්ච, ආදරවන්තයා මට ඉදිරියෙන් ගමන් කරනවා, බෑග් දාපු ට්‍රොලියත් තල්ලු කරගෙන. මෙන්න ඊලඟ දර්ශනේ. තරුණ චීන (යැයි කිව හැකි ) කෙල්ලෙක් බොහොම හුරුබුහුටි පොඩි ලමයි දෙන්නෙක් එක්ක අපේ ආදරවන්තයා ඉස්සහරට ඇවිත් එක පොකුරට බදාගන්නවා. මට හීන් දාඩිය දැම්මා. ෆුල් හොල්මන්. ඊට පස්සේ දවසක මම ඔය කතාව මගේ සිංගප්පුරු යාලුවෙකුට කිව්වා. මිනිහා කියනවා ඕක සාමාන්‍ය දෙයක්ළු. නීත්‍යානුකූල බිරිඳ ඉන්නෙ බොහොම වෙලාවට සිංගප්පුරුවෙලු. තමන් ව්‍යාපරික කටයුතු කරන අසල්වැසි රටවල තවත් පවුලක් නඩත්තු කරනවලු. සමහර අවස්ථාවල නීත්‍යානුකූල බිරිඳත් ඔය අනෙක් සම්බන්ධකම් දන්නවලු. අනේ කාලේ, වනේ වාසේ....

Tuesday 22 May 2012

ලැජ්ජා නැතිකම මහ විනිසුරුකමටත් වඩා ලොකුයි

ස්ථානය: ගාල්ල උසාවිය. දිනය: අවුරුදු 50කටවත් එපිට එදා නඩු දිනයක්. උසාවි‍යේ සෙනග පිරිලා. මොර සූරන වැස්සේ උසාවිය ඉස්සරහ මෝටර් රථයක් නතර කරපි. මෝටර් රථයේ ඇතුලේ හිටපු පුද්ගලයාට බැහැගන්න බැරි තරමට වැස්ස. කොහෙන්ද පාත්වෙච්චි පොරක් ගිහින් කුඩේ ඇල්ලුවා. දිලිසි දිලිසි එලියට බැස්සේ නඩුකාර උන්නාන්සේ. ටික වෙලාවකට පස්සේ නඩු අහන්න පටන් ගත්තා. මුලම නඩුවේ විත්තිකාරය දැකල පුරුදු ඩයල් එකක්. නඩුව පටන් ගන්නකොටම නඩුකාර උන්නාන්සේ ටිකක් වෙලා විත්තිකාරයව ස්කෑන් කරලා අහනව "තමා නේද අද මම කාර් එකෙන් බහිනකොට කුඩේ ඇල්ලුවේ?" "එ..එහෙමයි ස්වාමීනී" විත්තිකාරයට ෆුල් සැට. ඒත් නඩුකාර උන්නාන්සෙට නප්පියට තදවෙලා. "තමා අදවත් දැනගන්න නඩුකාර උන්නාන්සේට කුඩේ ඇල්ලී මෙන් කලේ අනිසි බලපෑමක්. මේ වරදට මම යුශ්මතාව රු5ක දඩයකට යටත් කරනව" ෆුල් දෝස් මුරේ. විත්තිකාරය ෆුල් අන්දොස්. මෙන්න ඊලඟට උසාවි රෙජිස්ටාර් පැත්තට හැරිල නඩුකාරය කියනව "ඒ රු5 දඩ මුදල මගේ පඩියෙන් කපාගන්න." හේතුව පැහැදිලිනේ. පගාව දීම වගේම, ගැනීමත් වරදක්! මට මේ යටගිය දවස කථාව මතක් උනේ, පහු ගිය දවස්වල දිග හැරුනු එන්.එස්.බී නාඩගම බලලා.

Saturday 12 May 2012

වසන්තගේ මෝටර් සයි-කෙලි...

වසන්ත, 87 ආණ්ඩු විරෝධී ව්‍යාපාරයට සක්‍රීයව සම්බන්ධ වූ තරුණයෙක්. තාත්ත ග්‍රාමසේවක කෙනෙක්. පුංචි කාලේ ඉඳල තාත්තගේ මෝටර් සයිකලේ පැද්ද නිසා වසන්ත ඔය කාලේ වෙනකොට ඕනෑම බයිසිකලයක් හොඳින් හසුරුවන්න පුළුවන් කම තිබුන. මේ හැකියාව නිසාම වසන්තට සංවිධානේ ලොකු පිළිගැනීමක් තිබුන විතරක් නෙවි, විශේෂ රාජකාරී පැවරුන. වසන්තත් ඒවා ඉතා ඉහලින්ම ඉෂ්ට කලා. 
මේ කියන දවසෙත් වසන්ත තවත් සහෝදරයෙක් එක්ක මෙහෙයුමක් සාර්ථකව නිමා කරලා වැව් තාඋල්ලක් උඩින් ගොම්මන් වෙලාවේ ට්‍රෙලක එනවලු සෑහෙන වේගයකින්. අඩ අඳුරේම වසන්ත දැක්කලු යාන්තමට යන පාරේ ලොකු කළු ගුලියක් තියෙනවා. පටු බොරළු පාරේ ආපු වේගෙට බ්රේක් ගැහුවොත් ලිස්සල ගිහින් එක්කෝ වැවේ, නැත්තම් පල්ලමේ. කර කියා ගන්න දෙයක් නැතිව මිනිහා ක්ෂණිකව තීරණය කරාලු බයිසිකලේ කළු ගුලිය උඩින් පන්නන්න. පිටිපස්සේ හිටපු සහෝදරයට කෑගහල කිව්වලු, හයියෙන් අල්ලගනින් කියා. සීට් එකට බරදීල හැන්ඩ්ල් එක ඉස්සුවලු. එතකොටලු දැක්කේ තඩි හරක් නාම්බෙක් නිදාගෙන ඉන්නවා. ඉස්සරහ රෝදේ ඉස්සෙනවා විතරයිලු දෙන්නටම මතක. සහෝදරයෝ දෙන්නම බරපතල තුවාලත් එක්ක ඉස්පිරිතාලේ. වෙලා තියෙන්නේ, මෝටර් සයිකලේ සද්දෙට හරක බයවෙලා, දනි පනි ගාල නැගිටලා. ඉතිරිය හිතාගත්තැකිනේ. 

Wednesday 9 May 2012

ආරේ ගති නෑරේ - මිස්ටර් බීන් හා කළු කෝපි


මේක චරිත ඝාතනය කරන්න ලියුවක් නොවේ. 
වෙච්චි ඇත්ත සිද්ධියක් පමණි. 
මිස්ටේර් බීන් එක්ක 1977 මුල්වරට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු සෙට් වෙන සිරිතක් තිබුණා කොළඹ තියෙන ප්‍රසිද්ධ කෝපි කඩේක. ඔතනදි ආගිය තොරතුරු, මෙහෙයුම්, කැපිලි, කෙටිලි, කටකතා, දූශමාන ආරංචි, අරවා, මේවා ඔක්කොම කතා වෙනවා. එක එක මන්ත්‍රීවරු තමන්ට අවශ්‍ය කෙටි කෑම හා බීම ඇනවුම් කරනවා. පුරුද්දක් විදිහට බීන් ඇනවුම් කරන්නේ කළු කෝපි විතරයි. (ඔව් ඒ කාලෙත් එහෙම තමා). සභා තොමෝ විසිර යනකොට එක මන්ත්‍රී කෙනෙක් ඔක්කොගෙම බිල ගෙවල දාල යනවා. ටික කාලයක් යනකොට මන්ත්‍රී සෙට් එකට මීටර් උනාලු කවදාවත් මිස්ටර් බීන් බිල ගෙවන්නේ නෑ කියා. මේ කෂ්ටිය කතා උනාලු දවසක බීන්ට ගේමක් දෙන්න. ඔන්න එදා තේ කෝපි බීල ඉවරවෙලා එකා දෙන්නා දිරා මාර් උනාලු, මිස්ටේර් බීන් තනි කරලා. මේක වෙලා තියෙන්නේ හවස 6 ට විතර. ඔතන  හිටපු එකා මන්ත්‍රී කෙනෙක් රාත්‍රී භෝජනයකට ගිහින් රෑ 12 ට විතර අර කියපු කෝපි කඩේ ලගින් ගියාලු. නිකමට එතනට ගිහින් බැලුවාම බීන් ගොය්යා තාමත් එතනලු තනියම. මේ කියන මන්ත්‍රී තුමා තමයි බිල ගෙවලා බීන්ව නිදහස් කරගෙන ගිහින් තියෙන්නේ.